If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Thursday, June 14, 2012

ශ්‍රියාණි සුබ උපන්දිනයක්

ශ්‍රියාණි පිළිසිඳ ගත්දා අම්මා දුටු අපූරු හීනය
ඒ අපූරු තෑග්ග මෙවරත් හිමි වේවි

‘ගෙපිළෙහි රැස් වී කතාබහින් සන්තෝෂ වන පිරිස අතර සිටි එක් දැරියක් මගේ සිත් ගත්තාය. පාසලට යන විට ගවුම අඳින ඇගේ කය අද වසා සිටියේ සාරියකි. ඈ හා කතාබහ කිරීමටත්, ඈ දෙස බැලීමටත් ආසාවක් මා තුළ හට ගත්තේය. පාසලෙහිදී මා හැමදා දැක පුරුදු සිනිඳු කොපුල් දෙකත්, කෙළින් පිහිටි නැහැයත් ඇති ඇගේ මුහුණ පෙර නොවූ විරූ සුන්දරත්වයක් අද ලැබුවේ කෙසේද?’
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘විරාගය’ නව කතාවේදී සරෝජනීව වර්ණනා කරන අරවින්දගේ ඒ කියුම ඔස්සේ පළමුවරට මම ඈ දැක ගතිමි.
‘විරාගය’ නවකතාව කියවන විට එසේ සිත් ඇඳි සරෝජනීගේ රුව දෙවන වරට මට මුණ ගැසෙන්නේ තිස්ස අබේසේකරයන්ගේ ‘විරාගය’ සිනමා පටයේදීය.
මින් වසර දහයකට පෙරඅතුව පුංචි තිරය ඔස්සේ මෙසේ මට මුණ ගැසුණු, මගේ හදවත සැඟව ගත් ඇගේ රුව යම් දිනෙක දකින්නට හෝ ඈ හා කතාබහ කරන්නට හැකි වේ යැයි මම සිහිනෙකිඳු නොසිතිමි.
නමුදු යමෙකුට කලාතුරකින් හිමිවන ඒ අහඹු හමුවීම උදා වූයේ පසුගියදාය. එනම් තෙවැනි වර සරෝජනී මට මුණ ගැසෙන්නේ බත්තරමුල්ල නගරයට මඳක් ඔබ්බෙන් පිහිටි සුන්දර පෙදෙසකදීය.
‘උඩු මහලට එන්න’
ඇගේ ඇරැයුමෙන් මම උඩුමහල් තලයට පියමං කළෙමි. එසැනින් මා සරෝජනී අසලය. මුවඟ රැඳුණු ඒ ළයාන්විත ළඟන්නා සුළු සිනහව තවමත් එසේමය.
‘ශ්‍රියාණි අමරසේන’
රිදී තිරයේදී ඈ අභිසෙස් ලැබූයේ රිදී තිරයේ අවිහිංසකාවිය ලෙසිනි. මාධ්‍ය ලොවේ මිතුරන්ට ඕ හැමදාමත් දයාබර ශ්‍රියාණි අක්කාමය.
‘මට විනාඩි පහක් දෙන්න එතකම් මෙතනින් වාඩි වෙන්න’
ඈ පවසන්නේ තම සිතෙහි උපන් ළෙන්ගතු බව වදන්වලට පෙරළමිනි. මම ඈ දෙසම බලා උන්නෙමි. එදා ඇගේ දෙනෙතෙහි දුටු ආලෝකය තවමත් එසේමය. මම නැවත විරාගය ළඟ නතර වීමි. රසිකයන් බොහෝ ආදරය කළ සරෝජනී කාලයාගේ ඇවෑමෙන් ද ඒ සුන්දරත්වය තවරා හිඳින්නීය. මේ ගෙවී යන්නේ ඇගේ තවත් එක් උපන් දිනයකි. ජීවිතයේ එක් සොඳුරු නිමේෂයකි. නැවතත් මම ඈ තුළින් සරෝජනී දකිමි.
‘ඉතිං සරෝජනී’
සාලයට පිවිසි ඇසිල්ලේදී මට සුපුරුදු ළෙන්ගතු නමින් මම ඇයව ආමන්ත්‍රණය කළෙමි.
‘මුලින්ම විරාගය නවකතාව කියවන විට මා උසස් පෙළ හදාරන පාසල් ශිෂ්‍යාවක්. විරාගයේ සරෝජනී මගේ සිත් ගත්තා. ඒ විතරක් නෙමෙයි අරවින්ද ගැන උපන්නේ කෝපයක්. ඒ සරෝජනී පැනලා යමු කියද්දී අරවින්ද ඊට එකඟ නොවූයේ ඇයි කියලා ඒ කාලේ මම හිතුවා. පසු කාලයකදී ඒ ගැන හිතන විට අරවින්දගේ අදහස නිවැරැදියි කියලා හිතුණා. ඒ වගේම අරවින්ද කියන්නේ ගැඹුරින් ජීවිතය දකින කෙනෙක්. මේ මොන අදහස් පළ කළත් කවදා හෝ මට සරෝජනී වන්නට ලැබේවි කියලා එදා නම් මට සිතුණේ නෑ. ජීවිතය හරි පුදුමයි. කාලයකට පස්සේ මම ආදරය කළ සරෝජනීගේ චරිතයේ ජීවත් වන්නට ලැබීම දෛවයේ් සරදමක්. මම වගේම පාඨකයින්, සිනමා රසිකයන් සරෝජනීගේ චරිතයට බොහෝ සේ ආදරය කළ බව මා දන්නවා. හැමෝගෙම ආදරය දිනා ගෙන සිටිය එවන් චරිතයක් නිරූපණය කිරීමට ලැබීම මගේ රංගන ජීවිතයේදී මා ලැබූ භාග්‍යයක්.’
සරෝජනීගේ මතක මං පෙත ඔස්සේ ඕ අතීතයට පිවිසියාය. පාලමකුඹුර හේරත් මුදියන්සේලාගේ වීරකෝන් බණ්ඩා, එමලින් විමලාවතී වීරකෝන් විවාහ කර ගත්තේ යෝජනාවකිනි. නව යුවළ පදිංචියට ගියේ කොළොන්නාව මීතොටමුල්ල මහ ගෙදරටය. මේ දෙන්නාට හිටිය එකම හුරතලී ශ්‍රියාණි අමරසේන කැදැල්ලට පිවිසෙන්නේ විවාහ වී අවුරුදු හතකට පසුවය. ශ්‍රියාණි අමරසේන පිළිසිඳ ගත් දිනයේ විමලාවතී අපූරු හීනයක් දුටුවාය. නිල් කැටේට වතුර පිරුණු ලස්සන නෙළුම් විලකි. ඒ නෙළුම් අතර වතුරේ බැස සිටින සුදු ඇත් පැටියෙකි. ඌ සොඬින් වතුර ගෙන විමලාවතීගේ කුසට වීසි කළේය. ඒත් සමඟම අවදි වී සිටි ඕ සිහිනයේ පෙර නිමිති සුබ බව පසක් කළාය. දස මාසයක් ගෙවී ගිය තැන අද වැනි දිනෙක (ජූනි 14 වැනිදා) විමලාවතී වීරකෝන් සුදෝ සුදු සුන්දර කිරිකැටි දියණියක මෙලොවට දායාද කළේ ‘අම්මා’ යන උතුම් පදවියට හිමිකම් කියමිනි. ඒ සුන්දර කිරි කැටියා අද පුවත්පත් කලාවේ දැවැන්තයකු වන ආතර් යූ. අමරසේනට සැබෑම සුන්දර බිරිඳකි. ඉනෝකා දුවට හා චන්දන පුතුට ආදරබර මවකි. මනීෂා දෝණියට මිත්තණියකි. රිදී තිරයේදී වගේම පුංචි තිරයේදී රසිකයන්ගේ ආදරයට පාත්‍ර වුණු සොඳුරු රංගන ශිල්පිනියකි. අධ්‍යක්ෂිකාවකි. නිෂ්පාදිකාවකි.
ලැබුවා වූ සුබ උපන් දිනයේදී ගෙවී ගිය වසර කිහිපය වෙතට මම ඈ සමඟ ගමන් කළෙමි. එය හරිම සොඳුරු මතක මං පෙතකි.
භූමිකාවන් රාශියකටම පණ පොවන්නා වූ ශ්‍රියාණි අක්කාගේ මුවඟට නැඟෙන්නේ සැහැල්ලු මදහසකි. ඒ මදහස අපට කියන්නේ අපූරු කතාවකි.
‘මෙතෙක් ගෙවී ගිය වසර කිහිපයේදී මා පැමිණි ගමන පිළිබඳ මට තිබෙන්නේ සැබෑ සතුටක්. යම් කෙනෙකුට පසුතැවීමකින් තොරව තමන්ගේ ජීවිතය පිළිබඳ සතුටු විය හැකි නම් එයයි හොඳම උපන් දින තෑග්ග වෙන්නේ. ඒ අපූරු තැග්ග මට මෙවර උපන් දිනයේදීත් හිමි වෙනවා. රංගන ශිල්පිනියක් වීම යම් කෙනෙකුට ලැබෙන වරප්‍රසාදයක්. රංගන ශිල්පිනියක් වෙන්න හැමෝටම බැහැ. අනෙක් කාරණය වෙන්නේ රසික ජනතාවගේ ආදරය දිනූ රංගන ශිල්පිනියක් වීමට හැමෝටම නොහැකියි. ඒ අතින් මම බොහොම වාසනාවන්ත රංගන ශිල්පිනියක්. ඒ රංගනය මගේ ජීවිතයට ආලෝකයක්.’
මේ තරම් වාසනාවක් ඈ පසුපස පැමිණෙන්නට හේතු වුණුු සැඟවුණු ඒ රහස දිව යන්නේ ශ්‍රියාණිගේ කුඩා කාලයටයි. ඇට්ටරකම් කළ පුංචි සංදියේ පටන් දහම් පාසලෙන් උගත් සතිපට්ඨානය පිළිබඳ පාඩම මෙතනදි ඇගේ හොඳට සිටියේය. ඈ සිත පිළිබඳ දහම් පාසලින් උගත් බොහෝ පාඩම් ජීවිතයේදී වරින් වර සිහිපත් කර ගත්තාය. ‘මේ නිසාම ද කොහෙද ජීවිතයේ සෑම කාරණයකදීම මධ්‍යස්ථව සිතන්නටත්, උපේක්ෂා සහගතව බලන්නටත් මම පෙලඹුණා. ඒ පෙලඹීම මට වාසනාව ගෙනාවා. මට නොවැටී සිටින්නට උදව් වුණා.’
මෙවර උපන් දිනය සමරන්නේ කොහොමද? මට පැනයකි.
‘මගේ අම්මාගේ උපන් දිනය යෙදිලා තිබෙන්නේ ජූනි 12 දිනයි. ඒ වගේම මැයි 15 වැනිදා ඈ වෙනුවෙන් අපි දානයක් දුන්නා. මේ නිසා උපන් දිනය සමරන්න විශේෂ දෙයක් කරන්න මම අකැමැතියි. එවැනි විශේෂ දේ කරනවාට වඩා එදාට ඇවිදින්න බැරි කෙනෙකුට කිහිලි කරු දෙකක් දෙන්න මම අදහස් කරනවා. නැති බැරි පවුලකට උදව් කිරීමත් මෙවර උපන් දිනයේදී මගේ අනෙක් පැතුමයි. මේ හැම දෙයක්ම මා කරන්නේ අප අතරින් වෙන්ව ගිය මෑණියන් සිහි කරලයි.’
මෑණියන් මිය ගොස් දැනට වසරකි. අද ශ්‍රියාණි අමරසේන නම් නිළිය බිහිව සිටින්නේ එම ආදරණිය මවගේ මඟ පෙන්වීමෙනි.
එහි ආරම්භය අපගේ මතකය රැගෙන එන්නේ දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරිබෑනා’ නාට්‍යයෙහි ‘ගම දුවයි’.
මඳ වේලාවක් ඈ නැවත අතීතය වර්තමානය මෙන්ම අනාගතය අතරේ සැරිසරයි.
‘අද රංගනයට පිවිසෙන නවක බොහෝ දෙනෙක් රංගන හැකියාවට මුල් තැන දෙන්නේ නෑ. තමන්ගේ රංගන හැකියාව වර්ධනය කර ගත් අයත් මේ අතර ඉන්නවා. කොහොම වුණත් 70 දශකය දෙස බලන විට මට පෙනෙන්නේ ඒ කාලයේ තිබුණේ බොහොම හෙමින් ගමනක්.’
වර්තමානයේදී නිළියකට මීට වසර කිහිපයකට පෙර තිබුණු ගෞරවය රසිකයන්ගේ සිත්වලින් ඈත් වෙලා.
මගේ සිතේ තෙරපෙමින් තිබූ පැනයයි ඒ.
‘එදා රසිකයන්ට නරඹන්නට තිබුණේ චිත්‍රපට පමණයි. ඒ නිසා ඔවුන්ගේ සිත්වල සිටිය සිහින තරු දැකගන්න ඔවුන්ට තිබුණේ පිපාසයක්. ඒ නිසාම එදා මුහුරත් උළෙලකදී මුළු ශාලාව පුරවලාම සෙනඟ හිටියා.
නමුත් රූපවාහිනිය පැමිණියාට පස්සේ මේ අදහස වෙනස් වුණා. ඔවුන් නිතරම ටෙලිවිෂනයේ පේන්න ගත්තා. ඒ වගේම ඔවුන්ට තිබුණ දුෂ්කරතාත් සමඟ ගමන් කළේ සාමාන්‍ය ජනතාව යන බසයෙන්. මේ නිසා නළු නිළියන් කියන අය විශේෂ වුණේ නැහැ. ඔවුන් සාමාන්‍ය ජනතාව අතර ඉන්නා කෙනෙක් වුණා. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් නිතරම සිටිය යුත්තේ සැඟවිලයි. වාහනයක් ඔවුන්ට අත්‍යවශ්‍යයි. අපේ රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට වාහනයක් මිලදී ගැනීමේ පහසු ක්‍රමයක් සලසා දෙන්න යන වග පසුගිය කාලයේ ලැබුණු ආරංචියක්. එවන් කටයුත්තක් සලසා දීමට ජනාධිපතිතුමාගේ පූර්ණ අනුමැතිය හා මැදිහත් වීම ලැබෙනවා නම් ඒක බොහොම අගය කළ යුතුª කටයුත්තක්.’
ඇය ළඟදී චිත්‍රපටයක දකින්නට ලැබුණේ නැත.
‘පසුගිය කාලයේදී මගේ අතින් නිර්මාණය වුණේ පුංචි තිරය මූලික කරගත් නිර්මාණයි. ඒ අතරින් ‘සුන්දර විරාමයක්’, ‘නොරත රත’ යන ටෙලි නාට්‍ය ඉදිරියේදීී විකාශය වීමට නියමිතයි. මේ දවස්වල මෙතැන චිත්‍රාගාරයේ කෙරෙන්නේ අලුත්ම ටෙලි නාට්‍යයෙහි සංස්කරණ කටයුතුයි. මේ කටයුතු නිසා මම බොහොම අවිවේකී චරිතයක්. මේ වන විට චිත්‍රපටයක් සඳහා පිටපතක් ලැබී තිබුණත් ඒ සඳහා යෙද විය යුතු කාලය විශාලයි.
මුදලත් විශාලයි. ළඟදීම මගේ අවධානය එම කාරණයට යොමු වේවි. එහෙම නැතිව චිත්‍රපට ක්ෂේත්‍රය අමතක කරලා නම් නොවෙයි.’
කාර්යබහුලත්වය මත ගෙවන ජීවිතයේ සැනසුම රැඳී ඇත්තේ ඔවුන් අසලය. ශ්‍රියාණි අමරසේනගේ සොඳුරු කැදැල්ලේ අසිරිය ගැනත් යමක් කතා කළ යුතුමයි.
‘මේ හැම නිර්මාණ කටයුත්තකම සක්‍රීයව නියැළිලා ඉන්න මට අවස්ථාව ලැබෙන්නේ මගේ දයාබර සැමියා අමරේ වගේම දුවත්, පුතාත්, ලේලිත් කියන මේ හැමෝගෙන්ම ලැබෙනා සහයෝගය නිසයි. මිනිබිරී මනීෂා අද මගේ ජීවිතයයි.’
සමු ගන්නට මත්තෙන් ඈ ඇයට ආදරය කරනා රසික – රසිකාවන්ටත් සුබ පතන්නටත් අමතක නොකළාය.
මගේ සෑම උපන් දිනයකටම සුබ පතන රසික – රසිකාවන් රාශියක් මට සිටිනවා. ඒ වගේම නිතර මගේ සුවදුක් අහලා දුරකථන ඇමතුම් ලබාදෙන ඒ සියලු දෙනාවත් මා මතක් කරන්න කැමැතියි. සෑම අවස්ථාවකදීම මාව අමතක නොකර මා ළඟින්ම සිටීම සම්බන්ධයෙන් ඔවුන් සියලු දෙනාට මගේ ස්තුතිය හිමි විය යුතුයි.’

දයාබර ශ්‍රියාණි අක්කේ, ඔබට සුබම සුබ උපන් දිනයක්!
source- http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com