‘කලා වැවෙන් ගත්
දිය දෝතක් සේ
වටී වටී ඔබැ මටම වටී
බෝධියකින් වට බෝ කොලයක් සේ
අගී අගී මට ඔබැම අගී . . .’

හදින්, හදට පිය මනිමින් රැයෙන්, රැය පහන් කළ විශාරද නන්දා මාලිනියගේ ‘ශ්වේත රාත්‍රිය’ නිම වන්නට ඇත්තේ තවත් එක් දිනක් පමණකි. ඒ අවසන් ‘ශ්වේත රාත්‍රිය’ පහන් වන්නට මත්තෙන් තවත් එකම, එක ‘ශ්වේත රාත්‍රියක’ අසිරිය විඳ ගැනීමේ ‘ආදරණීය වරම’ ඇගේ රසික සමූහයාගෙන් කිහිප දෙනෙකුහට අද උදා වනු ඇත.
මේ නන්දා මාලිනිය එතැන් සිට තවත් බොහෝ දෑ කතාබහ කරන්නට අප හා ඒකාත්මික වූ අයුරුය . . .
අද දිනයෙන් මේ කතාබහ ආරම්භ කරමු?
ඔව්, අද විශේෂ ‘ශ්වේත රාත්‍රිය’ක් පැවැත්වෙනවා. ඇත්තෙන්ම එය කලින් සැළසුම් කළ ප්‍රසංගයක් නෙවේ. නමුත් රසිකයන්ගේ බලවත් ඉල්ලීම නිසයි අපට මේ තීරණය ගන්න සිදු වුණේ. අද සහ හෙට මේ ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංග දෙක පැවැත්වෙන්නේ රත්මලාන සිරස මැදිරි සංකීර්ණයේදි, රාත්‍රී 7.00 ට.
අවසන් ප්‍රසංගයේ සියලුම ප්‍රවේශ පත් පැයක් ඇතුළත අලෙවි වූ නිසයි මෙවැනිි අතිරේක ප්‍රසංගයක් පවත්වන්නට ඔබට සිදු වන්නේ. මේ මම හිතන්නේ ඒක පුද්ගල ප්‍රසංග ඉතිහාසයේ වාර්තාගත සිදුවීමක් . . .?
ඇත්තටම අසංක, මමත් හිතනවා මීට කලින් මෙවැනි දෙයක් සිදු වෙලා නෑ කියලා. මේ අපි කවුරුත් නොසිතූ දෙයක්. අද පැවැත්වෙන ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍රත් අර වගේම කෙටි කාලයක් ඇතුළත අලෙවි වුණා. රසික ජනතාවගේ මේ ප්‍රතිචාර මගේ ගායන දිවියට ලොකු ධෛර්්‍යයක් වගේම ආශිර්වාදයක්.
ඔබ ‘පවන’ සමාප්තියෙන් විසි දෙවසරකට පසුවයි ‘ශ්වේත රාත්‍රිය’ ආරම්භ කළේ. මේ තරම් ඉක්මණින් එය නිමා කිරීම රසිකයන්ගේ පැත්තෙන් බලන කොට අසාධාරණයක් නේද?
අපි ‘ශ්වේත රාත්‍රිය’ ආරම්භ කළේ 2010 සැප්තැම්බර් 14 වැනිදා කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලෙන්. අපි එය ආරම්භ කළේම ප්‍රසංග විසි පහකින් අවසන් කරන සම්මුතිය උඩ. ඇත්තෙන්ම මෙහි සංකල්පය සිරස එෆ්. එම්. නාළිකා ප්‍රධානි එස්. එම්. මරික්කාර් මහතාගේ. මෙවැනි ප්‍රසංගයක් පවත්වමු කියා යෝජනා කළේ ඔහු.
මම, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, මරික්කාර්, නිහාල් වික්‍රම එදිරිසූරිය ඇතුළු සිරස කණ්ඩායමත් සමඟ මාස දහයක් මේ ගැන සාකච්ඡා කළා. අපට එකඟ විය නොහැකි තැන් තිබුණා. මේ ප්‍රසංගය නොපැවැත්වෙන තැනටත් ආවා. ඒත් යළි, යළිත් සාකච්ඡා කරලා අවසානයේ අපි තීරණය කළා ප්‍රසංග වාර විසි පහකට පමණක් සීමා කර ‘ශ්වේත රාත්‍රිය’ ආරම්භ කරන්න.
මහාචාර්ය සුනිල් ආරියරත්න, නන්දා මාලිනී සහ ‘සිරස’ විසින් ඇති කර ගත් වෙළෙඳ ගිවිසුමක්ද එතකොට මේ?
මම තරයේම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. පැහැදිලි වගකීමෙන් මම මේ කියන්නේ සිරස ආයතනය ‘ශ්වේත රාත්‍රිය’ හරහා ශත පහක ලාභයක් ලබා ගත්තේ නැහැ. ඔවුනට අවශ්‍යය නම් මේ ප්‍රසංගය විකුණන්නට තිබුණා. අඩුම තරමේ එක ප්‍රසංගයකවත් ඔවුන්ගේ බැනර්, කටවුට් ප්‍රදර්ශනය කළේ නැහැ. ඔවුන්ට ඇත්තෙන්ම අවශ්‍යය වුණේ සම්භාවනීය ගී ප්‍රසංගයක් කරන්න. ඒ තුළින් රසිකයන්ගේ බුද්ධිය අවදි කරන්න.
ප්‍රසංගයේ ගීත තෝරා ගැනීමේදී පවා ‘සිරස’ මැදිහත් වුණා?

‘ශ්‍රවණ ආරාධනා’, ‘සත්‍යයේ ගීතය’, ‘පවන’ යන ප්‍රසංග ත්‍රිත්වය ඔබ මීට වැඩි වාර ගණනක් ඉදිරිපත් කළා?
1971 වසරේදී මම විශාරද අමරදේවයන් සමඟ ‘ශ්‍රවන ආරාධනා’ ප්‍රසංගය ආරම්භ කළා. කාර්ය බහුලත්වය නිසා 1973 දී මේ ප්‍රසංගයෙන් එතුමා ඉවත් වුණා. එකල තරමක් ආධුනික මට්ටමේ සිටි මට තනිවම ප්‍රසංගය කරගෙන යාම අභියෝගයක් නොවුණාම නෙවෙයි. මගේ කියලා ගීත විශාල සංඛ්‍යාවක් තිබුණේ නැහැ. ‘රන්මුතු දූව’ ඇතුළු චිත්‍රපට හතරකට, පහකට වගෙයි මම ඒ වෙන කොට ගී ගයා තිබුණේ. නමුත් රසිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර නිසා එහි දර්ශන වාර පන්සිය තිහක් පවත්වන්නට මට හැකි වුණා. ‘ශ්‍රවණ ආරාධනා’ සමාප්ති ප්‍රසංගය පැවැත්වුණේ 1979 මැයි මාසයේ 22 වැනිදා. ඊට පස්සේ අවුරුදු දෙකක් විතර මම නිහඬව සිටියා.
ඒ විරාමය තවත් සුවිශේෂී ප්‍රසංගයක ඇරැඹුමක් . . .?
ඔව්. මගේ දෙවැනි ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘සත්‍යයේ ගීතය’ නමින් එළි දුටුවේ 1981 වසරේ. අගෝස්තු 29, 30, 31 දින තුන පුරා කොළඹ ලුම්බිණි රඟහලේ දර්ශන වාර තුනක් පවත්වමින් තමයි ඒ ප්‍රසංගය ආරම්භ කළේ. මේ ප්‍රසංගයේ මුළුමනින්ම ගී රචනා කළේ සුනිල් ආරියරත්නයන්. එතකොට අපිත් යොවුන් විය ගෙවමින්, ආදරය, ප්‍රේමය අත්විඳිමින් සිටි කාලය. ආදරයේ සුන්දරත්වය වගේම විරහව ගැනත් ‘සත්‍යයේ ගීතයෙන්’ අපි වැඩිදුර කතා කළා. 1984 අගෝස්තු 29, 30, 31 ප්‍රසංග වාර තුනක් පවත්වලා දර්ශන වාර පන්සියයකින් අපි ඒ ප්‍රසංගයත් ලුම්බිණි රඟහලෙන්ම සමාප්තිය කරා ගෙන ගියා.
ඉන් පසුව තමයි ඔබේ කලා දිවියේ වඩාත්ම ආන්දෝලනාත්මක යුගය ඇරඹෙන්නේ?
මම වසර තුනක් නිහඬව සිටියා. ඇත්තෙන්ම මම ප්‍රතිපත්තියක් හැටියට ප්‍රසංගවල, ප්‍රිය සම්භාෂණ, මංගල සාදවල ගී ගයන ගායිකාවක් නෙවෙයි. ඒ නිසා වෙන ප්‍රසංගවලට සහභාගි වුණෙත් නෑ. එවැනි පසුබිමක තමයි මං ‘පවන’ පටන් ගත්තේ. 1987 ජූනි 26, 27, 28 තෙදින පුරාම එය ලුම්බිණි රඟහලේ ගීතවත් වුණා. සුපුරුදු පරිදි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගී රචනා කළා. මේ ප්‍රසංගය සඳහාම අපි අලුතින් ගීත නිර්මාණය කළා. මම හිතන්නේ ඒ අවධියේ මම වෘත්තීය මට්ටමේ උපරිම තලයකට ඇවිත් සිටියා. සුනිල් ආරියරත්නයනුත් ගේය පද රචකයෙක් විදිහට වඩාත් පරිපාකයට පත්ව සිටියා. මම හිතන්නේ අපේ නිර්මාණ සුසංයෝගගයේ කූට ප්‍රාප්තිය සනිටුහන් වූ කාලය තමයි ඒ.
නමුත් ජීවිතයේ අවදානම් සහගතම කාලය?
හැම පැත්තකින්ම අපේ රටේ දූෂණය, භීෂණය රජ කළ යුගයක් ඒ. තරුණ අසහනය දෝරේ ගලා තිබුණ අවධියක්. එදා තරුණයන් මේ අසාධාරණයට විරුද්ධව නැගී සිටියා. ඒවා මර්දනය කරන්න එවකට සිටි පාලන තන්ත්‍රය දැඩි ක්‍රියා මාර්ග ගත්තා. අද රෑ සීනුව නාද වෙන්නේ කාගේ නිවසේද කියන මර බිය ඇතුවයි මිනිස්සු එදා ජීවත් වුණේ. ‘පවන’ ප්‍රසංගයේදී අපි නැගී සිටියේ මේ මර්දනයට, භීෂණයට එරෙහිව. නමුත් දර්ශන වාර දෙසිය පනහකින් අපට ‘පවන’ නවතා දමන්නට සිදු වුණා. අවසන් ප්‍රසංග වාර තුනකට සූදානම් වී සිටියත් අපට එක ප්‍රසංගයයි කරන්න ලැබුණේ. ඒ 1988 දෙසැම්බර් 11 වැනිදා.
‘ශ්‍රවණ ආරාධනා’, ‘සත්‍යයේ ගීතය’, ‘පවන’ වැනි ප්‍රසංග පවත්වද්දී ඔබට ඒ තත්කාලීන සමාජය පිළිිබඳ යම් දෘෂ්ඨියක්, විවරණයක් තිබුණා. විශේෂයෙන් ‘පවන’ ප්‍රසංගයේදී. එහෙම බලද්දී ‘ශ්වේත රාත්‍රිය’ හුදු ප්‍රේම ගීතාවලියක් පමණකැයි යමෙකු පැවසුවහොත්?
අසංක, ‘පවන’ අදටත් වලංගුයි. ඒ රූකඩ කෑලි, අඳුරු සෙවනැලි තවමත් තියෙනවා. ඒ නිසයි මම ‘පවන’ අදටත් වලංගුයි කියලා කිව්වේ. නමුත් ‘ශ්වේත රාත්‍රිය’ කරද්දී ඉන්තේරුවෙන්ම අපේ අභිප්‍රාය වුණේ මේ රටේ වලපල්ලට ඇදෙමින් තිබෙන පොදු ජන විඥානයට ආමන්ත්‍රණය කිරීමයි. විශේෂයෙන්ම අද ඇතැම් තරුණ පිරිස් රස වින්දනයෙන් මොට වෙලයි ඉන්නේ. ඉතින් ඒකයි අපි තීරණය කළේ එදා මෙදාතුර මා ගැයූ ජනප්‍රිය ගීත මේ ප්‍රසංගයට ඇතුළත් කරන්න. නමුත් ඒවා සියල්ලම ප්‍රේම ගීත නෙවේ. මගේ ගායන දිවියේ කඩඉම් ගීත. ඒ වගේම අරුත්බර, සුන්දර ගීත. ඇත්තෙන්ම ‘පවන’ත් මද පමණින් ‘ශ්වේත රාත්‍රියේ’ තියෙනවා. නමුත් අපේ මූලික අරමුණ වුණේ මේ ගී ප්‍රසංගය හරහා නැවතත් මේ රටේ රසික ප්‍රබෝධයක් ඇති කරලීමයි.
‘පවන’ අදටත් වලංගුයි කියා ඔබ පැවසුවා. එහෙනම් ඇයි අද එවැනි ප්‍රසංගයක් නොකරන්නේ?
මම කවදාවත් එකම දේ කළේ නැහැ. මගේ ඒක පුද්ගල ප්‍රසංග කලාවක් කලින් කළ වෙනස් මුහුණුවර ගත්තේ ඒ නිසයි. මේ වෙනකොට මම කැසට් පට හා සංයුක්ත තැටි විසි හයක් නිකුත් කර තිබෙනවා. ඒවාත් විවිධ තේමාවන් ඔස්සේයි රසික රසිකාවන් අතරට ගෙන ගියේ. වරක් මම කොළඹ යුගයේ කවීන්ගේ නිර්මාණ ඇතුළත් සංගත තැටියක් කළා. ඒ වගේම ‘අ’ යන්නේ සිට අං දක්වා ශුද්ධ සිංහල හෝඩියේ අකුරු අරගෙන ‘සිංදු හෝඩිය’ කළා. අංකුර ගීත රචකයන්ට අවස්ථාව ලබා දෙමින් ‘මලට රේණු’ කියන ගී නිර්මාණ එකතුව ඉදිරිපත් කළා. එතකොට ද්‍රවිඩ ජන ගීී එකතුව ‘කුංකුම පොට්ටු’ ඔබට අමතක නෑනේ. ඒ ගී කැසට් එක මම එළි දැක්වූවේ සිංහල, දෙමළ ජාතීන් බරපතල විදිහට විරසක වෙලා සිටි යුගයක. ඉතින් ඒ වගේ වෙනස් දෙයක් කරනවා මිසක ආයේ ‘පවන’ 02 ක් කරන්න මගේ බලාපොරොත්තුවක් නම් නැහැ.
සඳ එළිය ගඟක් වී . . .සඳ එළිය ගගක්වීමානුවන් ඉවුරේ හැපී පෙණ පිඬු නඟයි අනේ අපි කවදාක පීනමුද එ ගෙඟච මුල් සුවඳ රටක්වෙයි මානුවන් සයුරේ ඒ රටට අඬ ගසයි අනේ අපි කවදාක හිනැහෙමුද එ රටේ කිරි සිහින සඳක් වී මානුවන් අඹරේ සිනාසී අත වනයි අනේ අපි කවදාක ඇවිදිමු ද ඒ සෙඳ් . . . |
‘පවන’ කරලා වසර විසි දෙකක් මම නිහඬව සිටියා. ඒත් කවුරුවත් මට මෙවැනි ප්‍රසංගයක් කරන්න කතා කළේ නෑ. නමුත් ‘සිරස’ ආයතනයට විශේෂයෙන්ම එස්. එම්. මරික්කාර් මහත්මයාට ඉවක් තිබුණා මා වැනි ශිල්පිනියක් දායක කරගෙන මේ වගේ ප්‍රසංගයක් ඉදිරිපත් කළ යුතුයි කියන එක පිළිබඳ. මේ ප්‍රසංගය ආවාට ගියාට කළ එකක් නෙවෙයි. අපි මාස දහයක් පුරා මේ ගැන සාකච්ඡා කළා. විශේෂයෙන්ම මරික්කාර් මහතා මේ ප්‍රසංගයේ ගුණාත්මක පැත්ත ගැන වගේම එහි තාක්ෂණික පාර්ශවය පිළිබඳ පවා ඉතා දැඩි උනන්දුවක් දැක්වූවා. ආලෝකකරණය, ශබ්ද පරිපාලනය ගැන පවා ඔහු විශේෂ අවධානය යොමු කළා. එතැන ඉඳන් තමයි මේ ප්‍රසංගය ඔහු සංවිධානය කළේ. ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගයේ සම්පූර්ණ සංකල්පය තිබුණේ ඔහුගේ ඔළුවේ. ඇත්තෙන්ම මරික්කාර් කියන්නේ හොඳ රසවතෙක්. නිහාල් වික්‍රමත් ‘සිරස ආයතනයේ තවත් එවැනි රසවතෙක් බව ඔබ දන්නවනේ.
ඔබ ඔය කියන්නේ වර්තමානයේ ඔබේ ගීත කලාවට නිසි වටිනාකමක් සහ ගෞරවයක් ලබා දුන්නේ ‘සිරස’ ආයතනය කියලද?
නැහැ, ‘සිරස’ පමණක් නෙවෙයි, මේ රටේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යය මට කවදත් අනුග්‍රහය දක්වා තිබෙනවා. මේ හැම දෙනෙකුගේම ආදරය, ගෞරවය මට ලැබුණා. නමුත් ‘සිරස’ මාධ්‍ය ජාලය තමයි අවුරුදු විසි දෙකකට පසුව හෝ මෙවැනි දෙයකට මට ආරාධනා කළේ. ඒ ඉව ඔවුන්ට තිබුණා. මම වෘත්තීය ගායිකාවක්. වෙනත් ආදායම් මාර්ග මට නැහැ. මෙවැනි ප්‍රසංගයක් කිරීමේ අවශ්‍යතාවය මටත් හොඳටම තිබුණා. නමුත් ඒ සිතිවිල්ල ක්‍රියාත්මක කරගන්න හැකියාවක් තිබුණේ නෑ. මැරි මැරී ඉපදෙන ඒ සිතිවිල්ල යථාර්ථයක් බවට පත් වුණේ ‘සිරස’ නිසායි. මොකද මීට ප්‍රථම පැවැත් වූ ප්‍රසංග සංවිධානය කිරීමට වැය කළේ අපේ පෞද්ගලික ධනය. යම්, යම් අවස්ථාවලදී කණකර පවා උගසට තියන්න වුණා. මට මතකයි එක් ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගයකට පෝස්ටර් මුද්‍රණය කර දුන්නේ සුනිල් ආරියරත්නයන්.ධ් ර්‍ථ ඕ මුද්‍රණාලයේ සෝමපාල හේවාකපුගේ මුද්‍රණ වියදම් පවා නොගෙන ඒවා මුද්‍රණය කර දුන්නා. වරක් ‘පවන’ ප්‍රසංගයට මියුසික් නොටේෂන්ස් ස්ටෑන්ඩ් අරගෙන දුන්නේ ලාල් හෑගොඩ මහතා. නමුත් අද ‘ශ්වේත රාත්‍රිය’ට උපරිම තාක්ෂණිත මෙවලම් සමඟ අවශ්‍යය සියලු පහසුකම් ‘සිරස’ ආයතනය මගින් ලබා දී තිබෙනවා
http://www.sarasaviya.lk
No comments:
Post a Comment