If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Wednesday, September 19, 2012

ස්වර්ණ සිංහයා කොරියාව ඩැහැගනී

ස්වර්ණ සිංහයා කොරියාව ඩැහැගනී

රන්, රිදී සිංහයන් ජය කෙහෙළි නංවන ලොව පැරණිතම චිත්‍රපට උළෙල සැප්තැම්බර් 8 වැනි දා නිමාවට පත්වුණි. ඒ, වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලය. 69 වැනි වරටත් සුපුරුදු පරිදි වැනිසියේ ඓතිහාසික පලසෝ සිනමා ශාලාවේදී විචිත්‍රවත් වුණු වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට ලොව නන් දෙසින් සිනමා තරු එක්වී සිටියහ.
මෙවර හොඳම චිත්‍රපටය වශයෙන් රන් සිංහ සම්මානයෙන් පිදුම් ලැබුවේ දකුණු කොරියානු චිත්‍රපටයක් වන ‘පීටා’ යි ණයට මුදල් ලබා දෙන්නකු වටා ගෙතී ඇති අතිශය රුදුරු සිදුවීම් පෙළ ගැසී ඇති මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ කිමි කිඩන් ය.
එම චිත්‍රපටයට හිමි වූ රන් සිංහ සම්මානය දෝතට ගත් කිමි කිඩන්, වේදිකාවේ සිට ප්‍රේක්‍ෂකාගාරය අමතමින්, ජූරි සභාවටත් සිනමා රසික පිරිසටත් තම කෘතවේදීත්වය පළ කළේය. ඉන් පසුව කොරියානු ගීතයක පද කිහිපයක් ඔහුගේ මුවෙන් නික්මෙද්දී ප්‍රේක්‍ෂකාගාරයෙන් මතුවූයේ දැඩි නිහඬතාවකි.
මෙවර හොඳම අධ්‍යක්‍ෂවරයා ලෙස රිදී සිංහ සම්මානය දිනාගත්තේ පෝල් තෝමස් ඇන්ඩර්සන්ය. ඔහු අධ්‍යක්‍ෂණය කළ ‘ද මාස්ටර්’ චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිවිය. මෙම චිත්‍රපට කතාවට ආභාසය ලැබුණේ විද්‍යාවේදයේ (ස්වයං ඥානය තුළින් ආත්ම සංවර්ධනයට පෙළඹෙන ආගම් වාදයකි.) නිර්මාතෘ ලෙස සැලකෙන එල්. රොන් හබාඩ්ගේ සංකල්පයකිනි. මෙහි ප්‍රධාන චරිත රඟපෑ ජෝකින් ෆීනික්ස්ට සහ පිලිප් සෙමෝහොෆ්මාන්ට හොඳම නළුවාට හිමිවන ‘වොල්පි කප් ’ සම්මානය හිමි විය. ‘ද මාස්ටර්’ අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉදිරිපත් කෙරුණු චිත්‍රපටයකි.
හොඳම චිත්‍රපටය ලෙස රිදී සිංහ සම්මානය ලැබීමට ‘ද මාස්ටර්’ සුදුසු බව ජූරිය තීරණය කළත් එම තීරණයට එළැඹීමට ජූරියේ සාමාජික සාමාජිකාවනට සැලකිය යුතු වේලාවක් ගත කරන්නට සිදුවූ බව එහි සාමාජිකා සමන්තා මෝටන් පැවසුවාය.
ඒ, හොඳම චිත්‍රපටය ලෙස ‘පීටා’ සහ ‘ද මාස්ටර්’ යන චිත්‍රපට දෙකම එකිනෙක අබිබවා යන්නට තරම් නිර්මාණාත්මක බවින් පිරිපුන් වූ බැවිනි.
“මේ තීරණයට එළඹෙන්න ජූරියට දැඩි වෙහෙසක් දරන්න වුණා. වැනිස් චිත්‍රපට උළෙලේ නීතිරීති වලට අනුව රන් සිංහ සම්මානය යම් චිත්‍රපටයකට ලැබුණොත්, ඒ චිත්‍රපටය වෙනුවෙන් තවත් සම්මානයක් ලබා දෙන්න නොහැකියි.’පීටා’ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයාට හොඳම අධ්‍යක්‍ෂණය වෙනුවෙන් සම්මානය නොලැබෙන්නත් ‘ද මාස්ටර්’ චිත්‍රපටයට හොඳම චිත්‍රපටය හැටියට සම්මාන නොලැබෙන්නත් හේතුව ඒකයි”. සමන්තා මෝටන් වැඩි දුරටත් පැවසුවාය.
’ද මාස්ටර්’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්‍ෂවරයාට සහ හොඳම නළුවාට හිමි වූ සම්මාන ත්‍රිත්වය ලබා ගැනිමට වේදිකාවට ගොඩවූයේ පිලිප් සේමෝ හොෆ්මාන්ය. ඔහු මේ සම්මාන රාත්‍රියට එක්වූයේ ටොරොන්ටෝ චිත්‍රපට උළෙලට සහභාගි වීමෙන් පසුවය. “මම මේ වේදිකාවට ආවේ ගුවන් තොටුපළේ ඉඳළයි. ටොරොන්ටෝවල ඉඳලා ආවේ ටික වෙලාවකට කලින්. මෙතනට ඇවිල්ලයි ඇඳුම් මාරු කළේ. ඒ ගැන නම් විනිශ්චයක් දෙන්න එපා”. හොෆ්මාන් ප්‍රේක්‍ෂකාගාරය හිනස්සවමින් පැවසුවේය.
මෙම සම්මාන රාත්‍රියේ දී හොඳම නිළිය ලෙස ‘වොල්පිකප් ’ සම්මානය දිනා ගත්තේ, ඊශ්‍රායල නිළි හාඩාස් යාරොන්ය. ඒ, රාමා බර්ෂ්ටින් අධ්‍යක්‍ෂණය කළ ‘ෆිල් ද වොයිඩ්’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි. මෙම චිත්‍රපටය රූගත කර ඇත්තේ ටෙල් අවිව් නුවර හසිඩික් ජන කොටස වෙසෙන ප්‍රදේශයේදීය. චිත්‍රපටයේ යාරොන් රඟන්නේ දරු උපතකදී මියගිය තම සොහොයුරියගේ සැමියා සමඟ විවාහ වන්නේද නැද්ද යන ගැටලුවට මුහුණ දෙන දහඅට වියැති යුවතියකගේ චරිතයකි. හයිඩික් සමාජය තුළ කිඳා බැස ඇති සම්මත සිරිත් විරිත් දෙස අවධානයක් යොමු කරමින් මානුෂික සබඳතා සහ පවුල් පීඩනයන් පුළුල් ලෙස විග්‍රහ කරන්නට අධ්‍යක්‍ෂ රාමා බර්ෂ්ටීන් සමත්වී ඇති බව විචාරක මතයයි.
ඔස්ට්‍රියානු අධ්‍යක්‍ෂ උල්රිච් සීඩ්ල්, ‘පැරඩයිස්ෆේත් ’ චිත්‍රපටය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලැබුවේය. මෙම චිත්‍රපටය සීඩ්ල් අධ්‍යක්‍ෂණය කළ තුන් ඈඳුතු චිත්‍රපට මාලාවේ දෙවැන්නයි. එකම පවුලක කාන්තාවන් තිදෙනකු කේන්ද්‍ර කරගත් මෙම චිත්‍රපටයෙහි එන තනිකඩ කාන්තාවගේ චරිතය නිරූපයණය කරන්නේ මාරියා හොෆ්ස්ටේටර්ය. මේ තනිකඩ කාන්තාව සහ ලිංගිකත්වය පිළබඳ යම් අරුතක් මතු කරන්නට අධ්‍යක්‍ෂවරයා දරා ඇති උත්සාහය ඉතාලියේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් හි දැඩි විවේචනයට ලක් විය. අධ්‍යක්‍ෂ සීඩ්ල්, එමඟින් ජේසු තුමන්ටද අපහාසයක් සිදුකර ඇතැයි පැවසිණි. නමුත්, සම්මානය ලබා ගැනීමෙන් පසුව ප්‍රේක්ෂකාගාරය ඇමතූ සීඩ්ල් තමන්ගේ සිනමා නිර්මාණය කෙටියෙන් හඳුන්වා දී ‘මම ආගම්වලට අපහාස කරන අයකු නොවේ’ යැයි අවධාරණය කළේය.
මෙම සිනමා උළෙලේ දී හොඳම නැගී එන නළුවාට හෝ නිළියට හිමිවන සම්මානය ලැබුවේ ඉතාලි ජාතික නළු, ෆැබ්රිසියෝ ෆැල්කෝය. ඒ ඩැනියල් කිප්රිගේ ‘ඉට් වෝස් ද සන් ’ සහ මාකෝ බෙලොචියෝ ගේ ‘ඩෝමන්ට් බියුටි’ යන චිත්‍රපටවල රඟපෑම වෙනුවෙනි.
හොඳම තිර රචනය වෙනුවෙන් සම්මාන ලැබුවේ ප්‍රංශ ජාතික චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන ඔලිවියර් අසායාස්ය. ඒ, ‘සම්තින් ඉන් ද එයාර්’ චිත්‍රපටයේ තිර රචනය වෙනුවෙනි.
පිලිපීනයේ සුපිරි නිළියක වන නෝරා ඔනර්, මෙම සම්මාන උළෙලේ දී ගෞරව සම්මාන තුනකින් පිදුම් ලැබුවාය. ඒ, ‘තයි වූම්බ්’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි.
මෙවර පැවති 69 වැනි වැනිස් චිත්‍රපට උළෙල බොහෝ දෙනකුට අප්‍රමාණ මාතෘකා සපයා දුන් බවයි, සිනමා විචාරකයන් පවසන්නේ.

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com