If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Friday, August 3, 2012

මම සන්ෆ්ලවර්ස්ගෙන් සමුගත්තා

සංගීත විජේසූරිය ප්‍රමඛ සනිධප සංගීත කණ්ඩායම සංගීතවත් කරන සජීවී ප්‍රසංගයකි. ඔවුනට පෙම් බැඳි සංගීත ලෝලීහු එතැන පිරී සිටියේ අතුරු සිදුරු නැති ගානටය. ඒ අය අතරින් රිංගා මම වේදිකාවේ තාවකාලික තරප්පු පෙළ අසලට පැමිණියෙමි.
මා සොයා ආ ඔහු ඊළඟට ගැයීමට සූදානමිනි.
‘මා මයික්‍රෆෝනය මෙතැන් පටන් භාර කරන්නේ ඔහුට. ඔහු සනිධප සංගීත කණ්ඩායමේ තුන් ඉරියව්වෙන්ම දස්කම් විස්කම් පාන ගයකයකු බව කට පුරා කියන්නට පුළුවන්. මෙන්න එහෙනම් ප්‍රසංග වේදිකාවට මා ඇරැයුම් කරන්නේ සිංහල, හින්දි, බටහිර භාෂාවලින් ගී ගයා ඔබව ආනන්දයෙන් ආනන්දයට පත් කරන්නට ‘නොයෙල් රාජ්’ ඔබටයි’
නිවේදකයා ඔහුව හඳුන්වා දුන්නේ එලෙසිනි.
මහ සයුරේ රැලි ගොඩට ගලනවා
හමන සුළං සිසිල ගෙනෙනවා
මල් සුවඳ සොයා බඹරු ඇදෙනවා
සිත ඔබ හට ආදරේ වෙනවා
ඔහු වේදිකාව තමාගේම කර ගැනීමට ගත වූයේ සුළු මොහොතකි. එයට අමතරව හින්දි සහ බටහිර ගීයක් ද ගැයීමෙනි. අනතුරුව හෙතෙම වේදිකාවෙන් බැස මා සොයන්නට වූයේය.
යංකෝ ස්ටේජ් එකෙන් පිටිපස්සට. එතැන වාඩි වෙන්න පුළුවන් තැනක් තියනවා.
අපි එතැනට ගොස් කතාව පටන් ගත්තෙමු.
එක දිගට සිංදු කිව්ව නිසා ටිකක් මහන්සි පාටයි? මා ඇසුවේ සහෘදවය.
හැමදාම මෙහෙම ෂෝස් තියනවා.
මං ටිකක් දඟලලා කරලා සිංදු කියන නිසා මහන්සියකුත් දැනෙනවා. ඒත් ෂෝ එක බලන්න ආව මිනිස්සු සතුටු වෙන විදිහ දැක්කම ඒ මහන්සිය නොදැනීම අමතක වෙලා යනවා.
නොයෙල් කලින් හිටියෙ සන්ෆ්ලවර් බැන්ඩ් එකේ නේද? වැඩිපුර ජනප්‍රිය වුණෙත් ඒ කාලේ?
මං මුලින්ම සිටියේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ. නීල් අයියගෙ ඇරැයුමක් මත ‘සන්ෆ්ලවර්’ එකට ගියා. කාලයක් මං ඔවුන් එක්ක හිටියා. නමුත් මගේ සමහර ප්‍රතිපත්ති ඔවුන් සමඟ ගැළපුණේ නැහැ. සංගීත කණ්ඩායමක් වුණාම නිරන්තර පුහුණුව අත්‍යවශ්‍යයි. අපිට සමහර අවස්ථාවලදී ඒ පුහුණුව කරන්න ලැබුණේ නැහැ තිබුණු කාර්යබහුලකම නිසා. මං දැඩිව ඒ ගැන කතා කළා. පිළියමක් ලැබුණේ නැති තැන මං සාකච්ඡාවකට එළඹිලා ‘සන්ෆ්ලවර්’ සංගීත කණ්ඩායමෙන් සමු ගත්තා. සංගීත් මගේ හොඳ පැරැණි මිත්‍රයෙක්. ඔහු මට සනිධප හා සම්බන්ධ වී වැඩ කරන්න ආරාධනා කළා.
ඔබ කොහොමද වෙනත් භාෂාවන්හි ගී ගැයීමට යොමු වුණේ?
මං සංගීත ක්ෂේත්‍රයට එන්නේ බටහිර ගී ගයන්නෙකු ලෙස. මං ඒ ගීතවලට ආසයි. ඔය කාලයේ ලංකාව පුරා හින්දි ගීත අතිශයින් ජනප්‍රිය වුණා. මං මේ කතා කරන්නේ අනූව දශකයේ මැද භාගය ගැන.
එතකොට මං හිටියේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ. හින්දි ගී ගැයීමට වෙනත් අයකු පුහුණු කොට ගන්නට වෙලාවක් නැතිවුණා මටම ඒ ගී ගයන්නට කිව්වා.
අභියෝගය භාර අරගෙන මමත් ගැයුවා. ඊට පසුව ලතින්, පර්සියානු භාෂාවන්හි ගීත ගයන්නත් නොදැනීම පුරුදු වුණා.
පොඩ්ඩක් ඉන්න මල්ලි. මං හිතන්නේ ආයෙ මට සිංදුවක් කියලා එන්න වෙයි වගේ.
ඔහු මොහොතකට සමුගෙන වේදිකාවට නැංගේය.
ළංවෙලා සිතින් මා
හොර රහසෙ ගොළු වෙලා
දැන දැනත් අහිමි බැව්
මා පෙම් කළා . . .
මේ පාළු ගිම්හානේ තනිකමයි මාගේ උරුමේ
වෙන් වෙන්න බැහැ මට පෙම් කළ නිසා
නොයෙල් ඒ ගැයුවේ මේ දිනවල නිතර ගුවන් විදුලියේ ප්‍රචාරය වන ඔහුගේ අලුත්ම ගීතයයි. ඔහු ආ විගස මා අදහස් විමසුවේ එය ගැනය.
ඩිලාන් ගමගේ තමයි එය මට ලියලා දුන්නේ රදීෂ් වැන්දබෝනාගේ සංගීතයට. මං හිතන්නේ මේ සිංදුව හරිම ජනප්‍රියයි. මේ වන කොට සජීවී ප්‍රසංගයකදීත් රසිකයෝ අනිවාර්යයෙන්ම මේ ගීතය ඉල්ලනවා.
මෙය රූප මාධ්‍යයට ගෙන එන්න අදහසක් නැද්ද?
කොහෙත්ම නැහැ. වීඩියෝවක් කළොත් සිංදුව දැකලා දැකලා මිනිස්සුන්ට එපා වේවි. මං කැමැති නැහැ ඒකට.
ප්‍රසංග වේදිකාව ළඟ වගෙයි ඔබේ සිත වැඩිපුර නතර වෙන්නේ?
සැබවින්ම ඒක ඇත්ත. නොයෙල් රාජ් කියන නම හැදුණේ ප්‍රසංග වේදිකාවෙන්.
හොඳ හොඳ අත්දැකීම් එහෙමත් වේදිකාවේ ගයද්දි වෙලා ඇති නේද?
මාව බොහෝ අවස්ථාවලදී වේදිකාවේ ලිස්සල වැටිල තියනවා. දෙනෝ දාහක් මැදදි එහෙම වැටුණම සිතට දැණෙන දේ ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
තව දවසක ගී ගයද්දි ආරංචි වුණා මගේ තාත්තා නැති වුණා කියලා. මට ඒ මොහොත කවදාවත්ම අමතක වෙන්නේ නැහැ.
නොයෙල් රාජ් සනිධප සංගීත කණ්ඩායමෙනුත් ගැලවේවිද?
අනාගතය ගැන මට කියන්න බැහැ.
ඔබ හිතනවාද ඔබේ කටහඩින් නිසි ප්‍රයෝජනයක් අරගෙන තියනවා කියලා?
ඔය ප්‍රශ්නයට උත්තරේ නම් ‘නැහැ’ කියන එක. මොකද මගේ හඬ තිරයට උචිතයි කියලා බොහෝ දෙනෙක් කියනවා.
මමත් හරිම ආසාවෙන් ඉන්නවා චිත්‍රපටයක ගී ගයන්න. නමුත් තවම නම් ඇරැයුමක් ලැබුණේ නැහැ.
කලක් ඔබ ජෝතිපාලයන්ගේ ගී ගැයුවේ ඉහත නොලැබුණු දේ ඔබට පුළුවන් කියල දන්වන්නද?
එහෙම කළේ කැසට්පට නිෂ්පාදකයකුගේ ඉල්ලීමකට. නැතුව ඔය කියන දේ දන්වන්න නෙවෙයි.
කටහඬ ආරක්ෂා කර ගන්නට විශේෂ මොනවා හරි කරනවද?
හොඳට නිදා ගන්න එක විතරමයි කරන්නේ.
යලිත් ගී ගැයීමට නොයෙල්ට අවස්ථාවක්. දැන් ඔහුට සමු දිය යුතුය.
නොයෙල් අයියේ මට ඔයාගේ අලුත් විස්තර ටිකක් කියමු?
ඩිලාන්ලා එක්කම තව සිංදුවක් කළා. ඒ වගේම මගේ නවතම සංයුක්ත තැටියට සූදානම් වනවා. ගාමා ගාමිණී සුබසිංහ ඇතළු කිහිප දෙනෙක් එහි ගීත ලියනවා.
මාව අමතක කළාට
වෙන කෙනෙකු වෙත ගියාට
තවම ආදරේ ඔයාට
නෙතු සැරැසෙයි කඳුළකට . . .
මා ප්‍රසංග වේදිකා භූමියෙන් නික්ම යද්දී නොයෙල්ගේ හැඟුම්බර හඬ එලෙස වා තලයට මුසුවණු මට ඇසිණ.
source-http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com