If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Friday, July 13, 2012

මේ කිරුළේ අභිමානය මුළු යුධ හමුදාවටයි

ඒ අපූරු සොඳුරු යාමයේ ඇගේ නෙතින් නැඟුණු සතුටු කඳුළු මුළු රටක් හැඬ වූවාය. ඒ සතුටු කඳුළු අතරින් ඈ පළමුවරට දුටුවේ සිය පියාණන්ගේ දිලිසෙන දෙනෙත්ය. රෝගාතුරව තරමක් සුව ලැබ සිටින ජිනදාස පෙරේරා අපහසුවෙන් එදින පැමිණියේ මද්දුමියට ආශිර්වාදයක් වන්නටය. ඒ ආශිර්වාදය කර පින්නාගෙන මේ සොඳුරු යුවතිය කිරුළ හිමි කර ගත් විගස පිය මැන්නේ ‘සරසවිය’ දෙසටය.
ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අයෝමිට සුබ පතද්දී. ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හාන්ස් විජේසූරිය, ජාතික රූපවාහිනියේ සභාපති මොහාන් සමරනායක, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.
‘අයෝමි පෙරේරා’
මේ අරුන්දතී තරුව නිකම්ම නිකං අයෝමි පෙරේරා නොවේ. අප අභියස සිටින්නේ ශ්‍රී ලංකාවේ යුද හමුදා ඉංජිනේරු බලකායේ කාන්තා සෙබළ රණවිරු රියල් ස්ටාර් ජයග්‍රාහිකා අයෝමි පෙරේරායි.
තීරණාත්මක හෝරාවේ සිතට දැනුණු හැඟීම වචනවලට නඟන්නෙ කොහොමද?
‘ඒක මගේ ජීවිතයේ උදාවුණු අසිරිමත්ම මොහොතයි. කිරුළ මට ලැබීම වගේම ලංකාවේ ප්‍රධාන පුරවැසියා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ හා මැතිනියගේ ආශිර්වාදය, සුබපැතුම් ලැබීමට තරම් මා භාග්‍යවන්තියක් වුණා. මගේ ජීවිතයේ කිසිම දිනක අමතක නොවන ඒ සොඳුරු නිමේෂය පිළිබඳ හැඟීම් බොහොමයක් පෙළ ගැසුණත් වචනයට නොනැඟෙන්නේ සතුට නිසාම වෙන්න ඇති.’
මේ සමනලිය පවසන්නේ ඒ සොඳුරු හැඟීම් හදවත සිර කර ගනිමිනි.
කෙදිනක හෝ කිරුළ ලබා ගන්නවා කියන අදහස ද මේ තරගයේ අවසානය දක්වා ඔබ පැමිණෙන්න හේතු වුණේ?
‘කිරුළ දිනනවාට වඩා මට උවමනා වුණේ මා ගයන ගීත වඩාත් හොඳින් ගයන්නයි. අවසාන වටයේදීීත් ඒ අදහස එහෙමම මගේ සිතේ තිබුණා. ඒ අදහස මාව ජයග්‍රහණය කරා රැගෙන යන්න ඇති කියලා මා සිතනවා. ඒ විතරක් නෙමෙයි මා මේ ලැබූ ජයග්‍රහණය මගේ ජයග්‍රහණයකට වඩා යුද හමුදාව ලැබූ ජයග්‍රහණයක් ලෙසයි මා සලකන්නේ. කිරුළ දිනා ගත්තේ මා නොවෙයි. යුද හමුදාවයි. කිරුළ අයිති යුද හමුදාවටයි.’
වාද්දුව පොහොද්දර ග්‍රාමයට පෑයූ මේ තරුවට සිටින්නේ සහෝදරියන් තිදෙනෙකි. නිලුක්ෂි, දිලුක්ෂි යන වැඩිමහල් සොහොයුරියන් විවාහකය. බාලම නැඟණිය දර්ශි පාසල් ගොස් අවසාන වුව ද ඉගෙනීම අතහැර නොමැත. මේ සියල්ලන් අතර දඟකාරිය වූ අයෝමි අකුරු කරන්නට පිය මැන්නේ පානදුර මෙතෝදිස්ත විද්‍යාලයට හා ශාන්ත අන්තෝනි විද්‍යාල වෙතටය. කලා විෂයයන්ගෙන් උසස් පෙළ අධ්‍යාපනය හැදෑරූ මේ දඟකාරිය සිය යෙහෙළියන් වෙනත් අංශ කරා යොමුවීමේදී සිය හදවත පිදුවේ යුද හමුදාවටය.
චන්ද්‍රා අයිරංගනී යන සිය මවගේ හා ඒ වන විට විදේශගතව සිටි පියාගේ ආශිර්වාදය ලැබූ අයෝමි 2009 වසරේ අප්‍රේල් මාසයේ යුද හමුදාවට පිවිසියේ සිය සිත් රැඳි සිහිනය සැබෑවක් කර ගැනීමේ අදිටනිනි.
‘මේ නිල ඇඳුමට යටින් සිටින මිනිසාගේ අපූරු සොඳුරු බව මම දුටුවේ ඊට පිවිසෙන්නටත් කලින්. ඒ සොඳුරු බවේ සැබෑව හඳුනා ගැනීමට මට වැඩි කාලයක් ගියේ නැහැ. ඒ වෙනකොට උතුරේ අවසාන යුද මෙහෙයුම.
මා සිටියේ අනුරාධපුරයේ තලාව ඉංජිනේරු සේවා වෘත්තීය පුහුණු පාසලේ. යුද්ධයට සක්‍රීයව මට දායක වෙන්නට නොහැකි වුණත් අපේ සෙබලුන් වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම මා කළා. ඔවුන්ගේ සිත සුවපත් කරන්නට මා ගී ගැයුවා. යුද්ධයෙන් පස්සේ සෙබළියක් විදියට අපෙන් ඉටු විය යුතුකම් රාශියක් තිබුණා. ඒ යුද්ධයට ගිය ඔවුන් වෙනුවෙන් තැනෙන නිවෙස් ගොඩ නැඟීමේ කටයුතුයි. ඉදිකිරීම් අංශයේ සිටිය කෙනෙකු ලෙස මේ යුතුකම් ඉටු කිරීමට මම ඇප කැප වුණා. ඒක මා කළේ හෘදයාංගවමයි.’
අයෝමි නම් සොඳුරු සමනලිය සිය හදවත විවෘත කළාය. සෙබළියක වන ඇගේ හදවතෙහි වූ හෘදයාංගම භාවය අප නෙත කඳුළු නංවයි.
‘මම බොහොම පුංචි කෙනෙක්. ඒ පුංචි අයෝමිව ලංකාවාසී සියලු දෙනාම දැන හඳුනා ගත්තේ මේ රණවිරු රියල් ස්ටාර් වැඩසටහන හරහායි. යුද්ධය අවසාන වීමෙන් පස්සේ මෙවන් අපූරු කටයුත්තක් ආරම්භ කිරීමට මුල් වුණු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වගේම ජනාධිපතිතුමාටත් මගේ කෘතඥතාවය හිමි විය යුතුයි. ඒ විතරක් නෙමෙයි, රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල, යුද හමුදාපති මේජර් ජනරාල් ජගත් ජයසූරිය, මේජර් ජනරාල් කමල් ගුණරත්න, මේජර් ජනරාල් මහින්ද අඹංවිල, හිටපු බලකාධිපති මේජර් ජනරාල් වසන්ත කුමාර ඇතුළු ඉංජිනේරු සේවා බලකායේ සියලුම දෙනාටත්, යුද හමුදාවේ සියලුදෙනාටමත් ස්තුති කරන්නට මෙය මා අවස්ථාවක් කර ගන්නවා. මා ලංකාවාසී සියලු දෙනාටත් ස්තුති කළ යුතු වෙනවා. ඒ මාව මේ තරගයේ දිගින් දිගටම තබා ගැනීම හේතුවෙන්.’
ඔවුන්ගෙන් ලැබුණු මේ ආදරණිය බවත්, අයෝමිගේ දක්ෂතාවයත් නිසාම ඈ මිලියන 17 ක් වටිනා නිවෙසක හිමිකාරිනියකි. පාසලෙහි, නිවෙසෙහි විනෝද චාරිකාවකදී විහිදී ගිය ඇගේ මියුරු ස්වරය අද ලංකාවාසී ජනතාවගේ හදවත රැඳුණු මියුරු ස්වරය වී හමාරය.
‘ඒ මියුරු ස්වරය පිටුපස අපූරු කතාවක් තිබෙනවා නේද?’
ඇගේ කතා කරන නෙත් දෙසට එබෙමින් මම විමසුවෙමි.
‘මගේ අම්මට වගේම මගේ මාමාටත් හොඳට සිංදු කියන්න පුළුවන්. පුංචි කාලයේ අම්මා කියන නැළවිලි කවි, ජන කවි මම අහගෙන හිටියේ බොහොම ආසවෙන්. ඇගේ මියුරු ස්වරය මගේ හදවතේ පතුලෙම තැන්පත් වුණා කිව්වොත් හරි. ඒ වගේම පවුලේ හැමෝම එකතු වුණු දවසකට අපේ ගෙදර එකම සංගීත සාජ්ජයක්. මේ සොඳුරු පරිසරය වගේම ඔවුන්ගේ මියුරු ස්වරයන් දිගුකාලීනව මගේ සිතේ රැඳිලා තිබුණා. ඒ ලෙවල් කළාට පස්සේ සංගීතය පිළිබඳ ඉගෙන ගන්න ආසාවක් තිබුණු නිසාම මා සංගීත ගුරුවරයෙක් ළඟට ගියා. කොහොම වුණත් මේ පසුබිම ඔස්සේ එකතු වුණු ජවය මේ තරම් දුර මා ගෙනෙන්න හේතු වුණ බව මා සිතනවා. මේ ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් රටට සේවයක් කරමින් හොඳ ගී කිහිපයක් ගයා සංයුක්ත පටයක් නිකුත් කිරීම මගේ අනාගත බලාපොරොත්තුවයි.
නිතර සිනාසෙන ඇගේ නෙත් අතර බලාපොරොත්තුවේ සහන් සෙවනැල්ලක සේයාවක් රැඳී ඇති අයුරු අපි දුටිමු.
සමනලියේ . . . යුද සෙබලියේ . . . සොඳුරු අනාගතයක් කරා යන්නට සරසවියෙන් අපි ඔබට මෙසේ සුබපැතුම් එක් කරමු.  source-http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com