If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Thursday, June 21, 2012

අතීතයේ අඳුරු වලා මැද ඈඳුණු ආදරයේ පහන් තරුව ‘සිහිනය දිගේ එන්න’

පළමු කොටස
සීත ඍතුවේ අවසාන දින කිහිපයකින් එකක් ගෙවෙමින් පැවතිණ. පාළු හැන්දෑවේ මළ අඳුර කඳුයාය සිසාරා ගලමින් තිබිණ. හුදකලාවෙන් මිරිකා දමන ලද සිතක් ඇති රිද්මා, කාමරයේ කවුළුව අසලට විත් අවට පරිසරය දෙස බලා උන්නේ හිස් මනසකිනි.
අනවසරයෙන් පැමිණි සිසිල් සුළං කෝඩයක් ඇගේ සුන්දර වත සීරුවෙන් සිප ගත්තාය. කන්ද උඩරට ප්‍රසිද්ධ නගරයක නගරාධිපතිගේ එකම යොවුන් දියණිය වූ ඇය සුඛෝපබෝගී දිවි පෙවතක් ගත කරන තැනැත්තියකි. යාන වාහන, ගෙවල් දොරවල්, වතුපිටි, මිල මුදල් අතින් අඩුවක් නොවුණද කියා ගන්නට බැරි මහත් තනිකමින් රිද්මා කල් ගෙවන්නීය. ඇය මේ මොහොතේ ද පසු වූයේ එවන් තනිකමක් ළයට තුරුළු කරගෙනය.
සවස් යාමය නික්ම ගිය බැවින් රිද්මා කවුළු පියන්පත් වසා ඇඳ මත වාඩි වූයේ වයලීනයක්ද අතැතිවය. උපතින් ගෙනා වත්කම් අතර පෙරමුණේ තිබෙන සංගීතමය හැකියාව ඇගේ කාන්සිය මකා දැමූ ප්‍රබල සාධකයක් විය.
වයලීනයේ කෙළවර නිකටෙහි සිරකර ගත් ඇය වමතෙහි ඇඟිලි තුඩු එහි තත් අතර තබා ගත්තාය. දකුණතින් බෝ එක ගෙන ඇය එය වයන්නට පටන් ගත්තේ පුරුදු කාරියක මෙන්ය. නමුත් සෑම සැන්දෑවක මෙන්ම අද ද ඉන් උද්දීපනය වූයේ ඇගේ පාළු සිත් මඬලේ කම්පිත සිතුවිලි මාලාවේ සංගීතමය නාදයයි. එය විටෙක තම සිත් ඉසවුවට නවාතැන් ගැනීමට පැමිණෙන ලෙස තරුණයකුට කරන ආරාධනාවක් වැනිය.
දුවේ රිද්මා.....
මව අමතනු ඇසී රිද්මා වයලීනය පසෙක තැබීය.
පොඩ්ඩක් ඉන්න අම්මා . . .
රිද්මා කාමරයේ දෙර විවර කළාය.
දුවේ අදත් ඔයා වයලින් ගහනවා ඇහුණා. ඔයාගෙ පාළුව නැතිවෙන්නත් එක්ක අපි සංගීත පංතියකට යමුද? දූ මොකද කියන්නෙ?
රිද්මා “ඔව්” නොකියා හිස සැලීය.
ඊට පහු වැනිදා සිට ඇය බන්දුල නම් සංගීත ඇදුරුතුමකු ළඟ ශිල්ප ඛ්දාරන්නට ගියාය.

දෙවැනි කොටස
පුතා මං නුවර පොඩි ගෙස්ට් හවුස් එකක් ගත්තා. අපි ටික කාලෙකට එහෙ ගිහින් ඉමුද. මට මේ ඒකාකරී ජීවිතය එපා වෙලා.
ව්‍යාපාරික කතක් වූ සකුන්තලා තම එකම පුතු සංගීත්ට පැවසුවේ විවේක සති අන්තයකය. ඇගේ මේ ගමනෙහි යටි අරමුණක් තිබිණ. ඒ වසර ගණනකට පෙර ඇයව වංචාකාරී ලෙස රැවැට්ටූ පුද්ගලයකු සොයාය. ඔහු දුෂ්මන්ත ඇල්කඩුවය. සකුන්තලා මේ වන තෙක් ඒ සඳහා සිටියේ ධනයෙන් බලයෙන් ස්ථාවර වෙන තුරුය.
මේ කොළඹ දාලා කොහේ යන්නද අම්මා. අනික දවස් ගාණක් නන්නාඳුණන පළාතකට ගිහින් මං කොහොම ඉන්නද?
සංගීත් පුන පුනා අකමැත්ත ප්‍රකාශ කළද මවගේ දැඩි පෙරැත්තය මත සතියක් පමණක් ඉඳීමේ පොරොන්දුව පිට සංගීත් නුවර බලා සකුන්තලා සමඟ පිටත් වූවේය.
හිරාන් නම් සංගීත්ගේ පැරැණි මිතුරෙකු නුවර ඉන්නා වග ඔහුට මතක් වූයේ අතරමගදීය. සකුන්තලාව තානායමට ඇරලවා සංගීත් හිරාන්ව සොයා ගියේ අතීත හිතවත්කම් අලුත් කිරීමේ අරමුණිනි. කලකට පසුව හමු වූ දෙමිතුරෝ රිසිසේ ඇවිද්දෝය. ආපසු එන අතරතුරදී හිරාන් සංගීත්ට ‘පොඩ්ඩන් ඉන්න’ යැයි පවසමින් අසල ඇති නිවසකට ගියේ සංගීත්ව ගෙමිදුලෙහි නතර කරමිනි. එය බන්දුල ඇදුරුතුමාගේ නිවස විය.
ඈත සිටන් පැමිණි සුමිහිරි වයලින් නාදයක් සංගීත්ගේ කණ වැකුණේ මේ වෙලාවෙහිදීය. වයලීන් නාදයෙන් ඔහුගේ සිත කුල්මත් විය. ඒ සත්සර රාවය පැමිණෙන්නේ හිරාන්ගේ මිත්‍ර නිවසේ සිට බව සංගීත්ට ඉතා සුළු මොහොතකින් වැටහිණ. ඔහු මෙතරම් අලංකාරව වයලිනයක් වයන්නේ කවුදැයි සෙවීමට ඒ හඬ පටන් ගන්නා තැනට පැමිණියේය. ප්‍රේමණීය හැඟුම් දහරක් ගැබ්ව නැගෙන ඒ වයලීනය වැයුවේ රිද්මාය. සන්සුන් මනසින් දෙනෙත් පියා ඇගේ වාදන විලාසය සංගීත් බලා සිටියේ බොහොම ආශාවෙනි. කවුරුන් හෝ තමන් සමීපයට ඇවිත් ඇති වග ඉවෙන් මෙන් වටහා ගත් රිද්මාගේ නෙතු හැරිණ. දෙදෙනා බොහෝ වේලාවක් දෙඇස් දෙස බලා හුන්හ. ක්ෂණයකින් දෙදෙනාගේම සිත්වල ප්‍රේමාතුර සිතුවිලි ලියලන්නට පටන් ගත්හ. හිරාන්ගේ මාර්ගයෙන් රිද්මා පිළිබඳ සියලු තතු දැනගත් සංගීත් ක්‍රම ක්‍රමයෙන් ඇයට ළං විය. ඉතාම කෙටි කලකින් දෙදෙනා ප්‍රේමවන්තයන්ගේ චරිතයන්ට පිවිසිණ.

තෙවැනි කොටස
සංගීත්ට කොළඹට යාමේ උනන්දුව හීන වී ඇති අයුරු සකුන්තලාට දනුණේ සතියක් ඉක්ම ගිය නිසාය. ඇය මේ වන විටත් දුෂ්මන්ත සොයා යාමේ ගමන අඩකින් පමණ නිම කර තිබිණ.
පුතාට කොළඹ අමතක වෙලා වගෙයි දැන්.
දිනක් රාත්‍රී ආහාරය ගැනීමට සූදානම් වන මොහොතක ඇය සංගීත්ගෙන් විහිළුවට මෙන් විමසීමක් කළාය.
මං අම්මට කියන්නමයි හිටියේ. මට ගෑනු ළමයෙක් හම්බ වුණා.
ඉතින්, ඉතින්, නම මොකක්ද, කොහේ පවුලක්ද?
සකුන්තලාගේ පොපියන මුව විමසීය.
නම රිද්මා. මෙහෙ නගරාධිපති දුෂ්මන්ත ඇල්කඩුවගෙ දුව.
මොකක්? දුෂ්මන්තගෙ දුව.
මෙතෙක් වේලා සඳ මඬලක් මෙන් සිනාසෙමින් සිටි සකුන්තලාගේ උවන වියරුවිණ.
ඔයා මේ සම්බන්ධය අදම නවත්වන්න ඕනේ. නැතිනම් හොඳින් හෝ නරකින් මං මේක ඉවරයක් කරනවා.
මොනවද අම්මා මේ කියවන්නේ? ඇයි මට රිද්මාව අතහරින්න කියන්නේ ? හේතුව මොකක්ද?
හේතුව ඔයාට වැඩක් නැහැ. කියපු දේ විතරක් කළොත් ඇති. මේ කතාව මෙතනින් ඉවරයි.
මවගේ මේ හැසිරීම ඉදිරියේ සංගීත් පත් වූයේ අසරණභාවයකටය.
මේ ඉතාමත් අලංකාර කතාන්දරයක්. කතාන්දරය තවමත් නිම නැත. මේ හෙට සිට සී. ඊ. එල්. මණ්ඩලයේ තිරගතවීමට නියමිත චන්ද්‍රරත්න මාපිටිගමගේ සය වැනි සිනමා නිර්මාණය වන සිහිනය දිගේ එන්න සිනමාපටය නරඹා ඔබට දැනගත හැකිය.

චරිත රඟන නළු නිළියන්:
සංගීත් – අමිල අබේසේකර
රිද්මා - උදාරි වර්ණකුලසූරිය
දුෂ්මන්ත - සනත් ගුණතිලක
සකුන්තලා - වීණා ජයකොඩි
රිද්මාගේ මව - නයනා කුමාරි
හිරාන් – රජිත හිරාන් චාමිකර
බන්දුල – බන්දුල විජේවීර
සෙසු නළු නිළියන්:
මානෙල් වානගුරු, චංචලා වර්ණසූරිය, මොහාන් කුමාර්, රවීන්ද්‍ර මාපිටිගම, මිලින්ද පෙරේරා, සුබෝධි ප්‍රියදර්ශනී, සමන් අල්මේදා.
සිහිනය දිගේ එන්න සමන්ත රණසිංහගේ නිෂ්පාදනයකි.

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com